මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දා සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි වාර්තා වේ .
මාතර උයන්වත්ත දකුණ ප්රදේශයේ පදිංචිව සිටී 45 හැවිරිදි මූදුගමුව ආරච්චිගේ සංජීව නොහොත් මොරටු සංජීව නැමැති අයට වෙඩි තබා මරා දැමීමට යොදා ගෙන ඇත්තේ ද මෙම ගිනි අවිය බව සඳහන්.
වාර්තා වන ආකාරයට වෙඩි තැබීම සඳහා යොදාගත් මෙම ගිනි අවිය දික්වැල්ල මූදුගමුව කැලයක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරින් විසින් සොයා ගෙන ඇති අතර එම ටී 56 ගිනි අවිය වැඩිදුර විමර්ශන සඳහා දික්වැල්ල පොලීසිය වෙත භාර දී තිබේ .
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය හක්මණ පොලීසියට නිකුත් කර තිබූ ගිනි අවියක් බවත් , 2009.06.18 දින පොලිස් වෙඩි තැබීමකින් හක්මණ පොලිස් වසමේ පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් නඩු අංක බීආර් 311/2009 නඩුවට අදාලව ටී 56 ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් අධිකරණය භාර යට ගෙන තිබූ බවත් , එම ගිනි අවි 2009.08.03 දින රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් , නැවත 2016.03.03 දින ගිනි අවි තුන මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාර දී තිබූ බවත් ය.
එහි තැන්පත් කර තිබූ අනෙක් ටී 56 ගිනි අවිය සහ රිවෝල්වරය මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ඇති අතර වෙඩි තැබීම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදහන් වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් පොලිසිය මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන් .