ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දරුවන්ගේ ජනවාරි වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමට ලංගම සාමාන්‍යාධිකාරීවරයා ඩිපෝ අධිකාරිවරුන්ට ලිපි යවා ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා වාර ප්‍රවේශපත්‍ර සති අන්තයේ පාවිච්චි කිරීමද තහනම් කර ඇතැයි ප්‍රකාශ කළේය.
පාසල් නොපැවැත්වුණද සති අන්ත පෞද්ගලික පන්ති පැවැත්වෙන හෙයින් දරුවන්ට ඒවාට සහභාගිවීමට සිදුවන බවත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම රජයේ වගකීමක් බවත් ඔහු කීවේය.
අවලංගු කරන ලද වාර ප්‍රවේශපත්‍ර නැවතත් වලංගුභාවයට පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.