CID එක පදනම් විරහිතව නඩු පවරනවා – නිරපරාදේ බන්ධනාගාරයටත් යවලා.

සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයකුට නඩු පැවරීම රටේ මුදල් වැයවීම පමණක් නොව අධිකරණයේ සහ එම සැකකරුවන්ගේ කාලය නිකරුණේ වැයවීමක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ .

මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර ඇත්තේ, අරගලයේ ක්‍රියාකාරිකයකු වූ සුමුදු සෙනරත්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව විභාග කරන අවස්ථාවේදීය.

මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සම්බන්ධයෙන් වන ආරවුල් විභාග කිරීම සඳහා කාති උසාවි 100ක් පිහිටුවන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ මැතිවරණ පොරොන්දුවක් ලබාදී ඇති බවට හිටපු විදේශ ඇමැති අලි සබ්‍රි විසින් සඳහන් කළා යැයි කියන තොරතුරක් සුමුදු සෙනරත් විසින් අන්තර්ජාලයේ පළකිරීම හේතුවෙන් මෙම නඩුව ගොනුකර ඇත.

මෙහිදී චෝදනාලත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ, තම සේවාදායකයා එවැනි ප්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදාහැර ඇත්නම් එය නඩු පැවැරීමට තරම් වූ චෝදනාවක් නොවන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2020 වසරේදී අත්අඩංගුවට ගත් තම සේවාදායකයා කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත මුදාහැර ඇති බවත්, කිසිදු පදනමක් නොමැති චෝදනාවක් ඔහුට විරුද්ධව ගොනුකර ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

එමෙන්ම තම සේවාදායකයාට වසර ගණනාවක් තිස්සේ කාලය හා ධනය වැයකරමින් අධිකරණයට පැමිණීමට සිදුව ඇති බවද නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මෙම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ දැනුම්දීම සිදුකර තිබේ.

(Ceylonwire)

Exit mobile version