කිලිනොච්චිය , මලයාලපුරම් ප්රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබූ වලස්මුල්ල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
වාර්තා වන ආකාරයට ඊයේ (14) උදෑසන මෙම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් 4 දෙනෙකු මලයාලපුරම් වැව අසල අදාළ වැටලීමට ගොස් තිබේ. පසුව නිලධාරීන් තිදෙනෙක් එම ස්ථානය පරීක්ෂා කර ඇති අතර අතුරුදන්ව ඇති බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයා අවට කැලෑබද ප්රදේශය සෝදිසි කර තිබේ . නමුත් එම කොස්තාපල්වරයා පැය කිහිපයක් යනතුරුත් නොපැමිණීම හේතුවෙන් අනෙක් නිලධාරීන් ඒ බව පරීක්ෂා කර පසුව ඔහු නොමැති වීම නිසා ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිල සුනඛයෙක් යොදාගනිමින් අතුරුදන් වූ බවට සැක කෙරෙන කොස්තාපල්වරයා සොයා විමර්ශන ආරම්භ කළ නමුත් ඔහුව සොයා ගැනීමට නොහැකි වී තිබේ . මෙම කොස්තාපල්වරයා සෙවීමේ මෙහෙයුම් සඳහා ත්රිකුණාමලය යුද හමුදා කඳවුරේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ද ලබාගෙන තිබේ .