සෞඛ්‍ය වර්ජනය අරඹයි.

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) වැඩවර්ජනයක නිරත වන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසා ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණි.

එහිදි සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට බලධාරීන් එකඟතාව පළ කළත් මේ දක්වාත් ඒ සඳහා විසඳුම් ලැබි නොමැති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ හේතුවෙන් අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බවට එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසා තිබේ.

කෙසේවෙතත් සමස්ත ලංකා හෙද සංගමය අදාළ වර්ජනය සඳහා එක් නොවන බවට එහි සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා පවසා තිබේ.

මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වැඩවර්ජනය සාධාරණ හේතුවක් මත සිදුකරන වැඩ වර්ජනයක් නොවන බවට ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසා තිබේ.

Exit mobile version