මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම එළවළු මිල අද දිනයේදී .

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද (02) දිනයේ දී වාර්තා වී ඇති බවට පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.

පවතින අධික වර්ෂාපතනය සහ අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ ඩි.පි. ප්‍රසාද් සුසන්ත මහතා,

“අද මිනිස්සු කොළඹට එළවළු එවලා නෑ. කැරට් රු 600යි, බෝංචි රු 600යි, තක්කාලි රු 600යි, මාළු මිරිස් රු 600යි, අමුමිරිස් රු 1000යි, ගෝවා රු 500යි, වම්බටු රු 500යි. මේ ගණන්වලට ඉතිහාසයේවත් මිල වැඩිවෙලා නෑ. මොකද වැස්සත් එක්ක එළවළු මිල වැඩිවෙලා තියෙනවා. තව ඉස්සරහට මිනිස්සුන්ට එළවළු කන එක හීනයක් වෙනවා…”

මේ අතර එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

ඊට එක්වෙමින් අදහස් දැක්වු එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත පල්ලියගුරු මහතා, පවසා සිටියේ එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව සැපයුම අඩුවීම බවයි.

එමෙන්ම උත්සව සමය සමග එළවළු ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මිල ගණන් ඉහළයෑමක් සිදුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

Exit mobile version