කූඨ ලේඛන සැකසූ නීතීඥවරිය මුල් ලේඛනය කාලා.

උසාවිය ඉදිරිපිට තමන්ගේ කාර්‍යාලය පවත්වාගෙන යන කඩ කාමරය කූඨ ලේඛන සකස් කර අත්පත් කරගෙන සිටි නීතීඥවරියකට එරෙහිව කැකිරාව දිසා මහ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට අදාළ මුල් ලේඛන ලේඛනාගාර ලිපි ගොනුවෙන් ඉරා මුව තුළ දමාගෙන හපා ගිලින්නට උත්සාහ කළ නීතීඥවරියක් කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ .

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

කැකිරාවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට තිබූ කඩ කාමරයක දිර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතීඥවරියක විසින් කුලී පදනම මත සිය කාර්‍යාලය පවත්වාගෙන ගොස් තිබේ .

කාලයක් තිස්සේ මෙම කඩ කාමරය හිමිකරු විසින් ඉල්ලා සිටියත් නීතීඥවරිය ඉන් පිටව යෑම ප්‍රතික්ෂේප කර තිබේ .

මේ සම්බන්ධයෙන් කඩ කාමර හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කැකිරාව දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඒ අවස්ථාවේ දී නීතීඥවරිය විසින් කඩ කාමරය හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන සහිත ලේඛන දෙකක් ඉදිරිපත් කර ප්‍රකාශ කර ඇත්තේ එය ලක්ෂ 20 කට ඔහු තමන්ට විකුණූ බවත් , දැන් එම කඩකාමරයේ හිමිකම තමන්ගේ බවත් ය.

මේ සම්බන්ධව අගතියට පත් පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ මෙම අත්සන තමන්ගේ නොවන බවය. අත්සන පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසය. ඒ අනුව උසාවි නියෝගයක් මත අත්සන පරීක්ෂා කිරීම සදහා රස පරීක්ෂක කාර්‍යාලය වෙත යොමු කර තිබිණි.

මේ අතර විමර්ශනය කරගෙන යන අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව පවරා ඇති ආකාරය දෝෂ සහිත බව දන්වා සිටියේය. අගතියට අත් පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගත්තේය. ඒ අතර අත්සන් පරීක්ෂාව සඳහා යැවූ රස පරීක්ෂක වාර්තාව පැමිණ තිබිණි. එම වාර්තාව අනුව මෙම අත්සන් නොගැළපෙන බවත් , ලේඛනයේ සඳහන් අත්සන ව්‍යාජ එකක් බවත් තහවුරු කර තිබිණි.

මෙම ලේඛන පැමිණි වහාම අගතියට පත් පාර්ශවය එහි මුල් ලේඛනවල පිටපත් ලබා ගත්තේය. ඒ බව සැලවූ නීතීඥවරිය තමන් වෙත කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳ නඩුවක් පැවරෙන බව වටහාගෙන එම ලේඛන දෙක සම්බන්ධව ඉල්ලීමක් කිරීමට ලේඛනාගාරය වෙත ගොස් තිබිණි.

රෙජිස්ට්‍රාර්වරිය විසින් එම ලේඛන පිටතට ගැනීම සඳහා ලේඛන භාරව සිටින නිලධාරිනිය වෙත සටහනක් යවා ඇය සේප්පුවෙන් එම ලේඛන පිටතට ගත් අවස්ථාවේ නීතීඥවරිය එම ලේඛන දෙක ඉරා සිය මුව තුළ දමාගෙන හපන්නට පටන් ගෙන ඇත.

ඒ සිද්ධිය මුළුමනින්ම වීඩියෝගත කළ ලේඛනාගාර කාර්‍ය මණ්ඩලය මේ සම්බන්ධව කැකිරාව පොලිස් ස්ථානය වෙත දන්වා තිබේ.

ඒ සමඟම එතනට පැමිණි කැකිරාව පොලිසියේ නීලධාරීන් නීතීඥවරිය අත්අඩංගුවට ගෙන ඇය හපමින් සිටි ලේඛන කොටසක්ද සොයාගෙන ඇත.

මේ වන විට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අද (28) කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කීවේය.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්.මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.

( ලංකා සර )

Exit mobile version