කුරුණෑගල බෝගමුවේ මොරගොල්ල වත්තේ මුරකරු වශයෙන් සේවය කළ ආරක්ෂක අංශ හිටපු නිලධාරියෙකු වන 22 හැවිරිදි තරුණයෙකු පෙරේදා (19) දින අභිරහස් ලෙස වෙඩි වැදී මිය ගොස් ඇත. මොහු මෙම වත්තේ මුරකරු සදහා සේවයට පැමිණ ඇත්තේ දින පහකට පෙරය. මිය ගොස් සිටි තරුණයාගේ මළ සිරුර අක්කර 27 ක් වූ ඔහු සේවය කළ මොරගොල්ල වත්තට ආසාන්නයේ තිබූ තවත් වත්තක තිබී සොයා ගෙන ඇති අතර මිය ගිය තරුණයා විදේශ රටක නිශ්පාදිත පතරොම් තුවක්කුවක් මත මුණින් අතට වැටී සිටි බව පොලීසිය ප්රකාශ කරයි.එම ගිනි අවිය බලපත්ර රහිත එකක් බව විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම මළ සිරුර අසළ වෙඩි වැදුණු ඉත්තෑවෙකුගේ සිරුරක් ද තිබී ඇත.
මරණකරු කහවත්ත පනාපිටිය ප්රදේශයේ පදිංචි දසුන් මහේෂාන් නැමැත්තෙක් වන අතර මොහුගේ මරණය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලීසිය සැක පළ කරන්නේ මෙම මුරකරු ලෙස සේවය කළ තරුණයා තවත් කිහිප දෙනෙකු සමග දඩයමේ ගොස් සිටි අවස්ථාවේදී වෙනත් අයෙකු අතැති ගිනි අවියකින් ඉත්තෑවාට තැබූ වෙඩි පහරට මුරකරු ගොදුරු වී ඇති බවයි. එබැවින් මෙම වත්තේ සේවය කරන කිහිප දෙනෙකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්රශ්න කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලීසිය ප්රකාශ කරයි.