ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකම පිලිබදව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අදාළ ලියවිලි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කර තිබේ.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා,
“මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්.අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් තබා ගත නොහැකි රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10 – 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්.
මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.
මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා.”