රතු මුහුදේ අපේ අයිතිය ජනපති මතක් කරයි.

ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් විශාල නවීකරණයක් සිදුවිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති බවත් රතු මුහුදේ අපේ වගකීම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාළිය ට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදී එය පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි ඉදිරියට යන්න නම් රටේ විශාල නවීකරණයක් සිදුවෙන්න ඕනේ. අපි අපේ කලාපයේ ස්ථාවර භාවය ආරක්ෂා කරගන්න ඕනේ. සාමයට ස්ථාවරභාවයට අනතුරක් වෙනවා නම් ඒක අපේ රටට වෙන අනතුරක්. අපි සියලුදෙනාම තනි තනිව ලෝකයේ ජීවත් වෙන්නේ නැහැ.” 

“ලංකාව වගේ රටක් යුද්ධයක් කරලා පළපුරුදු රටක් පැත්තකට වෙලා ඉන්න ඕනේ නැහැ. එහෙම කළොත් අපේ යුතුකම අපි ඉටු කරන්නේ නැහැ.” 

“අද රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා. අනාගතයේදීත් අපි සූදානම් වෙන්න ඕනේ.”

Exit mobile version