සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත ගෙනත් තියෙන්නේ ටිරාන් නෙවේලු.

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

මෙම පනත ගෙන ඒමේදී පාර්ශවකරුවන් සමග පුළුල් සාකච්ඡාවක්, උද්ඝෝෂණ ක්‍රියාවලියක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශණ පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවත් මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්ද එහිදී කරුණු පැහැදිලි කරමින්, මෙම පනත ගෙන ඒම 2016 වර්ෂයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක් බවත්, අධිකරණ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වුණු, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත්, එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බවත්, ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බවත්, මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් ප්‍රකාශ කලේය.

තවද, මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස, මෙම පනත පිළිබඳ ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition) , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, තානාපති කාර්‍යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී විය.

Exit mobile version