පාතාලය තිගැස්සෙන මෙහෙයුම ඇරඹෙයි.

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානයේදී අද මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, එම සැකකරුවන් පරීක්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීමට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයේදී පැවති වැඩමුළුවක් අතරතුරදී මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇත.

මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ තොරතුරු ඇතුළත් කර මෙම දත්ත පද්ධතිය සකස්කර තිබේ.

Exit mobile version