විසඳුම් නැති  පාසල් මායිම් ප්‍රශ්නයට වයස හතලිහ පැනලා! 

මහින්ද රාජපක්ෂ, හමීඩියා විදුහල් දෙකේ භූමියේ ගැටලුව සොයා මධ්‍යම ආණ්ඩුකාර ලලිත් උකුවෙල යයි!

හමීඩියා  එකට ඉඩ වැඩියි!ඒකෙන් කෑල්ලක් අපිට ඕනෑ මහින්ද රාජපක්ෂ විදුහල්පති කියයි!

එහෙම දෙන්න බැහැ. මේ භූමිය අයිති අපිටයි. හමීඩියා විදුහල්පති !

නිළධාරින් එනවා, බලනවා යනවා විසඳුමක් නැහැ! විදුහල් දෙකෙන්ම චෝදනා!

 කෙටි කාලයක් දෙන්න, මම ප්‍රශ්නය විසදනවා!  ආණ්ඩුකාර ලලිත් ගමගේ.

මධ්‍යම පළාත් සභාවේ බලධාරීන් විසින් නිසි විසදුමක් ලබා නොදීම හේතුවෙන් උකුවෙල මහින්ද රාජපක්ෂ විදුහල හා ඊට යාබද හමීඩියා විදුහල අතර දීර්ඝ කාලයක් තිබූ භූමිය පිළිබඳව ගැටලුව පිළිබඳව සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ඊයේ 14 පස්වරුවේ එම පාසල් පරිශ්‍ර වෙත ගොස් පුළුල් නිරීක්ෂණයක නිරත විය.

පාසල් දෙකට ප්‍රවේශ වීම සදහා ප්‍රධාන පිවිසුම් හතරක් ඇති අතර එම එක් පාසලක ප්‍රවේශයෙන් ඇතුළු වී අනෙක් පාසලේ ප්‍රවේශයෙන් පිට වීමට හැකි පරිදි අනාරක්ෂිත ලෙස පිහිටි මෙම පාසල් දෙක වෙන් කරමින් ආරක්ෂිත මායිම් බැම්මක් ඉඳිකර දෙන ලෙස හමීඩියා විදුහල විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කෙරුණු අතර එම බැම්ම ඉඳිකිරීමට මහින්ද රාජපක්ෂ විදුහල විරුද්ධ වීම මෙම අර්බුදයට හේතුව බව මෙහිදී හෙළිදරව් විය.

පැති බැම්ම ඉඳිකිරීමට යෝජනා කරන ස්ථානය ආණ්ඩුකාර වරයාගේ  නිරීක්ෂණයට ලක් වූ අවස්ථාව!

තම පාසල් භූමියෙන් කොටසක් ඉන් අහිමි වන බැවින් පැති බැම්ම ඉඳිකිරීමට තම විදුහල විරුද්ධ බව මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පතිවරයා පැවැසීය. මහින්ද රාජපක්ෂ විදුහල විසින් බැම්ම ඉඳිකිරීමට යෝජනා කරන ස්ථානයේ එය ඉඳිකළ හොත් දැනට ඉදිකර ඇති තම විදුහලේ ළමා උද්‍යානය ඇතුළු ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු වන බැවින් තම විදුහල එම යෝජනාවට විරුද්ධ බව හමීඩියා විදුහලේ විදුහල්පතිවරයා පැවැසීය.

මේ වන විටත් කෝටි දෙකක වියදමින් ඉදිකිරීම් ආරම්භ කළ පාසල් ගොඩනැගිල්ල කිසිදු හේතුවකින් තොරව තහනම් කර ඇති බවද හමීඩියා විදුහල්පති වරයා පැවැසීය. පොලිස් පැමිණිල්ලක් මත එම ඉදිකිරීම නවතා ඇති බවද එය තම විදුහලට සිදු වූ බරපතල අසාධාරණයක් බවද පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් මෙහිදී පැවැසූහ.

අවසන් වරට රැස් වූ මධ්‍යම පළාත් සභාවේ පෙත්සම් කාරක සභාව මෙම පැති බැම්ම ඉඳිකළ යුතු බවට යෝජනා කර තිබුණද එහි සීමා මායිම් පිළිබඳව කරණු සැලකිල්ලට ගෙන නොතිබීම මෙම ගැටලුව දුරදිග යාමට හේතුව බව මෙහිදී හෙළි විය.

හමීඩියා විදුහලේ පාසල් සංවර්ධන කමිටුව විසින් භූමියේ තම පාසලට ඇති හිමිකම් පිළිබඳව පැරණි ලේඛන රැසක් ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති වරයා ඇතුළු පිරිස එම ලේඛන පිළිගත නොහැකි බව මෙහිදී පැවැසූහ.

විදුහල් දෙකෙන්ම පැමිණ සිටි පිරිසෙන් අධ්‍යාපන බලධාරීන්ට චෝදනා එල්ල කෙරුණු අතර මෙවැනි පරීක්ෂා කිරීම් වලට අවස්ථා සිය ගණනාවක් නිළධාරින් බළධාරීන් පැමිණ පොරොන්දු ලබා ආපසු යන බවද ප්‍රශ්නය හරිහැටි හදුනාගෙන විසදුමක් ලබා දෙනවා වෙනුවට නිළධාරින් එකිනෙකාට බෝල පාස් කරමින් සිටින බවයි ඔවුන් පැවැසුවේ .

ප්‍රශ්නය පිළිබඳව තමන් පුළුල් අවබෝධයක් ලබා ගත් බවද කවුරුන් කුමක් පැවැසුවද කුමන ලේඛන ඉදිරිපත් කළද මෙම පාසල් දෙකම රජයේ පාසල් වන බැවින් මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැවැරී ඇති බලතල අනුව කටයුතු කරමින් කඩිනමින් ගැටලුව නිරාකරණය කිරීමට තමන් කටයුතු කරන බව මෙහිදී ආණ්ඩුකාර වරයා පැවැසීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

සරත් සමරනායක.

Exit mobile version