පවතින අධික වැසි සහිත කාලගුණය සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්රදේශයෙන් ඉහළ යමින් පවතින අතර අවසන් වරට ජල මාපාංකයේ සටහන්ව ඇත්තේ මීටර් 1.87ක අගයකි.
මෙහි අගය මීටර් 2.80ක් දක්වා වර්ධනය වුවහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතී.
මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්රදේශයෙන් අවසන්වරට සටහන්ව ඇත්තේ මීටර් 6.90ක් ලෙසටය.
එහි අගය මීටර් 7.50ක් දක්වා වර්ධනය වුවහොත් එය මහා ගංවතුර තත්ත්වයකි.
මේ අතර ඌරුබොක්ක ගඟේද ජල මට්ටම ඉහළගොස් ඇති අතර එය අවධානයෙන් පසුවිය යුතු මට්ටමේ තවදුරටත් පවතින බව සදහන්.
එමෙන්ම කළු ගඟ රත්නපුර ප්රදේශයෙන්ද මගුරු ගඟ මගුර ප්රදේශයෙන්ද කුඩා ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් ද අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී ඇති බව වාර්තා වේ.
මේ අතර ගිං ගඟ තවලම ප්රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී තිබේ.
එසේම පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගල්ල ඔය දූනමලේ ප්රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී ඇති බව සදහන්.