රටට හිතැති බොහෝ මිනිසුන් තමන්ගේ ප්‍රශ්න ජාත්‍යන්තරයට රැගෙන ගියේ නැත. ඔවුන් ප්‍රශ්න විසදාගැනීම වෙනුවෙන් සටන් කළේ රට ඇතුලේ සිටමය. බැරිම අවස්ථාවේදී පමණක් ඔවුන් ජාත්‍යන්තරයට ගියේද කැමැත්තෙන් නොවේ. එවන් පසුබිමක් තුල තමන්ට තර්ජන තිබෙන බව හෝ බලපෑම් තිබෙන බව පවසමින් අධිකරණ සේවයේ යෙදී සිටින විනිසුරුවරයෙක් රටට එරෙහිව ජාත්‍යන්තරයට ප්‍රකාශයක් ලබා දෙමින් රටට අපකීර්තියක් ගෙන දෙන්නේ නම් ඉන් කියවෙන්නේ එම විනිසුරුවරයා නීතිය නොදත්, රටට එරෙහිව කටයුතු කළ විනිසුරුවරයෙක් බවයි. එවන් අය සමස්ත අධිකරණයටම සිදුකරන්නේ අපහාසයකි.
මුලතිව් මහේස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා පසුගිය සතියේ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු ද හමුවී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබේ.
විනිසුරුවරයා පවසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම්, විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
විනිසුරුවරයෙකුට තර්ජන තිබුණේ නම් කළ යුත්තේ කුමක්ද? යන්න ඔවුන් දන්නා අයයි. සරණවරාජා විනිසුරුවරයාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙන්නේ විනිසුරුවරයාගෙන් තමන්ට හිංසා සිදුවන බව අනාවරණය කරමිනි.
මෙවන් පසුබිමක ටී. සරවණරාජා විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 වනදා ඔහුගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබිණි.
එම ලිපියේ සඳහන්ව තිබුණේ තමාගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හා අධික පීඩනය හමුවේ මෙම තීරණය ගන්නා බවය.
ඒ අනුව වාර්තාවන ආකාරයට මෙම විනිසුරුට තර්ජන තිබෙන්නේ හෝ ඔහුගේ පිඩාවට හේතුව පවුල් ආරවුලක් විය හැකි බව පෙනී යයි. ඔහුට තර්ජන තිබුනේ නම් කළ යුතු නීතිමය කටයුතු කිසිවක් නොකර, පසුව විවිධ ප්‍රකාශ සිදු කරමින් රට අස්ථාවර කිරීමේ ප්‍රකාශ නිකුත් නොකළ යුතුය.
ධූරයෙන් ඉල්ලා අස්වූ ඔහු විදෙස්ගතව සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.