නීතිවිරෝධී ලෙස ඉතාලිය වෙත පළායෑමට තැත් කළ ශ්රී ලාංකික තරුණයෙකු සහ තරුණියක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම සැකකරුවන් ඊයේ (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා නිට්ටඹුව, වතුපිටිවල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර තරුණයා 35 හැවිරිදි අයෙක් වන අතර තරුණිය 25 හැවිරිදි අයෙකි.
ඔවුන් දෙදෙනා ඊයේ අලුයම දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්. ආර් – 659 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ ඉතාලි වීසා බලපත්ර දෙක පිළිබඳ සැක සිතූ එම නිලධාරීන්, ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහිදී සිදුකළ විමර්ශනවලදී එම වීසා බලපත්ර දෙක කූඨ ලෙස සකස් කළ ඒවා බවට අනාවරණය වී ඇත.
මේ පිළිබඳව මොවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී තමන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් ලක්ෂ 80ක් ලබා දී එම වීසා බලපත්ර දෙක සකස් කර ගත් බවත්, ඔහු තමන්ව කටුනායක ගුවන්තොටුපොළ තෙක් රැගෙන විත් ඇරලවූ බවත් ඔවුන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්රකාශ කර තිබුණි.
ඒ අනුව එම නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.