ගල් බලන්න ආපු චීවරධාරියා ඇතුළු 5ක් අල්ලයි.

නිධානයකින් ගත් මිල කළ නොහැකි මැණික් බවට අඟවා ගල් හතක් අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනකු ඇතුළු පස් දෙනකු මාතලේ මූලස්ථාන පොලිසීය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මැණික් මිලදී ගැනීමට පැමිණි කණ්ඩායමේ චීවරධාරියෙක්ද සිටින බව වාර්තා වේ.

මාතලේ උකුවෙල සේරුගොල්ල ප්‍රදේශයේ නිධානයකින් මැණික් ලබාගත් බව සැකකරුවන් පවසා ඒවා අලෙවි කිරීමට උත්සහා දරා තිබේ.

මැණික් යැයි සැක කෙරෙන ගල් හතක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.

මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධනට ලැබුණ තොරතුරකට අනුව ඉතා සූක්ෂ්ම ලෙස වැටලීම සිදු කර ඇති අතර මාතලේ කොහොඹිලිවෙලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

තණමල්විල ප්‍රදේශයේ පදිංචි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන චීවරධාරියෙකුද කලක් මහණව සිට සිවුරු අත්හැර ඇති මහනුවර බොක්කාවල මැදවල පදිංචිකරුවකු සහ ඔහුගේ පියා මැණික් ගල් සන්තකයේ තබාගෙන සිටි මාතලේ උකුවෙල සේරුගොල්ල පදිංචිකරුවන් දෙදෙනෙක් ඇතුළු 05 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේගේ උපදෙස් මත මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඒකනායක , පොලිස් සැරයන්වරුන් වන විජේරත්න සේනාරත්න (6922) බණ්ඩාරනායක (36709) විජේතුංග (14613) දිසානායක (66784) කරුණාරත්න (37281) දිසානායක (35063) කුමාරසිංහ (35966) පො.කො. හේවගේ (35827) නිලධාරීහු වැටලීම සිදු කර තිබේ.

Exit mobile version