කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පවසා තිබේ.
නාවලපිටිය දුම්රිය සේවකයන් පිරිසක් අද පෙරවරුවේ දී එම දුම්රිය ස්ථානයේදී පහර දුන්නයි නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් මෙසේ වැඩ තහනම් කර තිබේ.
එංගලන්තයේ සිට පැමිණ ඇතැයි පැවසෙන සංචාරකයන් කණ්ඩායමක ආරෝල් හා හැරිසන් යන දෙදෙනා හට මෙම පහර දීම සිදුවී ඇතැයි කියති.
කොළඹින් උදෑසන 5. 50 ට ගමන් ආරම්භ කරන පොඩි මැණිකේ දුම්රියට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් සංචාරකයන් තිදෙනකු ගොඩ වී ඇත.
මොවුන් ඇල්ල දක්වා ගමන් කිරීම සඳහා මෙසේ දුම්රියට නැග තිබුණද ප්රවේශපත්ර රැගෙන තිබී ඇත්තේ එක් සංචාරකයකු පමණක් බව නාවලපිටිය දුම්රිය බලධාරීහු පවසති.
මොවුන් පළමු පන්තියේ ගමන් කිරීමේදී සිදු කළ ටිකට් පත් පරික්ෂාවේදී ප්රවේශපත්ර නොමැති බව දැක ඔවුන්ට දුම්රියෙන් බැසීමට පවසා තිබේ.
නමුත් එය ප්රතික්ෂේප කිරීම නිසා දුම්රිය නියාමක විසින් ඒ බව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දන්වා තිබේ.
එහි සිටි සියලු සේවකයන් පැමිණ මෙම සංචාරකයන්ට පහරදී දුම්රියෙන් එළියට ඇද දමන අයුරු කිසිවකු රූගත කර ඇති බව සදහන් .
මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙතද දන්වා ඇති අතර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සංචාරකයන්ගේ ආරක්ෂාව සපයා ඊළඟ අංක 8 බදුල්ල දුම්රියෙන් ඔවුන් පිටත් කර තිබේ.
මෙම සිද්ධිය සමග පොඩි මැණිකේ දුම්රිය විනාඩි පනහක් පමාවී ඇති අතර එය යළි පෙරවරු දහයි පනහට පිටත්වී තිබේ.