මහනුවර ඇසල පෙරහර සමයේ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ තරග කිහිපයක් මහනුවරදී පැවැත්වෙන නිසා එය නැරඹීමට පැමිණෙන විදේශිකයන් පෙරහර නැරඹීමට කටයුතු කරන බැවින් මේ වන විටත් මහනුවර අවට සංචාරක හෝටල් සියල්ලකම කාමර වෙන් කිරීම සිදු කර අවසන් වී තිබේ.
මෙවර දළදා මාලිගාවේ ඇසළ පෙරහර නැරඹීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණීමට නියමිතව ඇති බැවින් පෙරහර නැරඹීමේ ආසන වාර්තාගත ඉහළ මිලකට අලෙවි වෙමින් පවතී.
රැජිණ හෝටලය ඉදිරියේ මහනුවර නගර සභාව මගින් පනවා ඇති පෙරහර නැරඹීමේ ආසන පසුගිය වසරට සාපේක්ෂව ඉහළ මිළ ගණන් වලට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විටත් රුපියල් මිලියන 5කට ආසන්න ප්රමාණයක ආසන අලෙවි වී අවසන් වී තිබෙන බවයි වාර්තා වන්නේ .
රන්දෝලි පෙරහර සඳහා එහි ඉදිරිපස ආසනයක් රුපියල් විසිපන්දහසක් වැනි මුදලකට අලෙවි වී තිබේ.
වෙනත් පෞද්ගලික අංශ විසින් පෙරහැර බාරයට යටත්ව පනවා ඇති ආසන ද රුපියල් 30,000-35,000 දක්වා වූ මිල ගණන් වලට අලෙවි වන බවද පැවැසේ.
සරත් සමරනායක