- නියඟයෙන් වේළෙන උඩවලව පාසලේ ගස් කපලා.
- විදුහල්පතිත් එක්ක අධ්යක්ෂකත් වැඩේට හවුල්.
- නීත්‍යානුකූල නොවන මණ්ඩල වලින් තීරණ අරගෙන.
- විදුහල්පතිගෙන් පරස්පර විරෝධී ප්‍රකාශ.
- විදුහල්පතිට සහයෝගය පිණිසත් කණ්ඩායමක් .
- තවත් ගස් 31 ක් කපන්න සැලසුම් කරලා.
- ගස් කැපීමට තීරණය කළ පුද්ගලයින් නීතියට පයින් ගහලා.
- ගස් කැපිය යුතු බවට ආපදා කලමණාකරනයෙන් වාර්තා දීලා නෑ.
- ආපදාවට ලක්වන බවට නූගත් පිරිසක් විසින් තීරණය කරලා.
- ප්‍රදේශයේ තිබෙන පසට අනුව ආපදාවලින් බේරෙන්න නම් පළාතෙම ගස් කපන්න ඕනි.
- මේ විදියට නූගත් තිරණ ගැනීමෙන් එම පළාතම කාන්තාරයක් බවට පත් වේ.
දැඩි උෂ්ණ සහිත මෙන්ම ජලය නොමැතිව නියඟයෙන් වේළෙන උඩවලව මහා විද්‍යාලය තුළ තිබූ ජීවයට හුස්ම දෙන්නා මෙන්ම වටිනා ගස් වර්ග කිහිපයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කපා දමා තිබේ. මෙලෙස කපා දැමූ ගස් අතරේ පාසල ආරම්භ කිරීමටත් පෙර සිට පැවති ඉපැරණි ගසක් සහ සංරක්ෂණය කළ යුතු ගසක් වන ” දද කිරින්ද ” ගසක් ද වේ. ඊට අමතරව කොහොඹ , තේක්ක වැනි වටිනා ගස් කිහිපයක් ද කපා දමා තිබේ. පාසලේ ආදි ශිෂ්‍යයින් පවසන්නේ මෙම ” දද කිරින්ද ” ගස පසුගිය 19 වැනිදා කපා දැමූ බවයි. මෙම මහා අපරාධයට විරුද්ධව ඊයේ (26) උදෑසන උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.
මේ මහා අපරාධය සම්බන්ධයෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ මෙලෙස නියඟයෙන් වේළෙන උඩවලව පාසලේ ගස් කපා දැමීම සිදු කරන්නේ පාසලේ විදුහල්පතිවරයා සහ ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා එක්ව බවයි.
පාසලේ තිබූ ගස් කපා දැමුවේ අදාළ වගකිව යුතු ආයතනවලින් නීත්‍යානුකූල අවසරය ඇතිව බවට විදුහල්පතිවරයා මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශ කර තිබුණත් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ පාසලේ පවතින ගස්වලින් පාසලට යම් කිසි ආපදාවක් සිදු වේ යැයි සිතා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ව ලිඛිතව දැනුවත් කර ගස් කපා දැමීමට පියවර ගත් බවයි. මහජන දේපළ ආරක්ෂා කරන ප්‍රධානියා විදුහල්පතිවරයා වූවත් ඔහු පවසන ආකාරයට මෙලෙස ගස් කපා දැමීමට අදාළව ඔහු සතුව කිසිදු ලිඛිත ලියවිල්ලක් නොමැත. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් ලිඛිතව දැනුවත් කළ බවයි. එසේ නම් අධ්‍යාපන බලධාරීන් අදාළ කර්තව්‍යයට ඉඩ ලබා දී ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන බලා සිටින්නේ ඇයි ? එමෙන්ම මහජනතාව අතරේ ගැටුම් ඇති කරවීම වැරදි සහගතය.
මෙලෙස නීත්‍යානුකූල නොවන අයුරින් පාසලේ ගස් කපා දැමීමේ මහා අපරාධයට සම්බන්ධ පාසලේ විදුහල්පතිවරයා වෙනුවෙන් මෙම පාසලේ සංවර්ධන සමිතිය මෙහිදී පෙනී සිටින අතර පාසල් සංවර්ධන සමිතිය ද මේ මහා අපරාධයට හවුල් වී තිබේ.
එසේම පාසලේ ආදි ශිෂ්‍ය සංගමය අවධාරණය කරන්නේ මේ අයුරින් කපා දැමූ ගස් වර්ග වලට අමතරව තවත් ගස් 31 ක් කපා දැමීම සඳහා විදුහල්පතිවරයා සහ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අරඅදිමින් සිටින බවයි.
මෙම මහා අපරාධයට එරෙහිව මහජනතාව විසින් උඩවලව පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. මේ වන විට එම පැමිණිල්ල ද විභාග වෙමින් පවතීයි. එලෙස පැමිණිල්ල විභාග වෙමින් පවතින පසුබිමක උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් නියෝග කර ඇත්තේ පාසලේ අනෙකුත් කිසිදු ගසක් කපා දැමීම තහනම් බවයි. එවැනි තහනමක් පනවා තිබියදීත් නීතියට පයින් ගසමින් තවත් ගස් 31 ක් කපා දැමීමට අදාළ පිරිස් මාන බලමින් සිටී.
යම් කිසි ස්ථානයක කිසියම් ආපදාවක් සිදුවනවා නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවය වන්නේ ආපදා කළමණාකරණ ඒකකයයි. නමුත් පාසලේ ආපදාවක් සිදු වේ යැයි කියා පාසලේ ගස් කපා දැමූ බවට විදුහල්පතිවරයා විසින් ප්‍රකාශ කළත් ඒ සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ ඒකකය විසින් එලෙස ගස් කපා දැමීමට අවසර දුන්නා යැයි කීමට කිසිදු ලිඛිත සාක්ෂියක් හෝ ලියවිල්ලක් විදුහල්පතිවරයා සතුව නොමැත.
එසේම මෙම පාසලේ මීට පෙරද වැසි සමයේ ගස් ගැලවී තිබුණත් , ඉන් ජීවිත හානි කිසිවක් මෙතෙක් සිදු වී නොමැති බවට විදුහල්පතිවරයා විසින් අවධාරණය කරනු ලැබූවත් , එම ගස් නිසා අපදාවක් සිදුවේ යැයි තීරණය කර එ සඳහා අවසරයක් ලද කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැතිව පාසලේ ගස් කපා දමන්නේ ද මෙම විදුහල්පතිවරයාමය. මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මේ වන විටත් ජලය නොමැතිව පීඩා විදින එම ප්‍රදේශයේම මිනිසුන් මෙතරම් නූගත් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන්ගෙන් හෙට වෙනුවෙන් ඉපදී ඇති දරුවන්ගේ හෙට දවසේ ඉරනම ලෙස පත්වන්නේ කාන්තාරයක ජීවත් වීමටය. ඒ අනුව මිනිසුන්ට හිරිහැරයක් නොවූ මෙම ගස් කපා දැමීමට පාසල් පරිපාලනය මෙන්ම සබරගමු පළාතේ අධ්‍යාපන බලධාරීන් අවසර දීම අහස පොළොව නුහුලන අපරාධයකි.
මේ ආකාරයෙන් නූගත් කමිටුවල සහ දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ මත ගස් කපා දැමීමට සිදු වන්නේ නම් සංඛපාල , උඩවලව , ඇඹිලිපිටිය , තණමල්විල , වැල්ලවාය , මාතර , හම්බන්තොට යන ප්‍රදේශවල ඇති මහජනතාවට හුස්ම ගෙන දෙන ගස් කපා දැමීම සිදු වේ.
එවිට වැඩි දිනක් නොගොස් එම ප්‍රදේශයන් කාන්තාර බවට පත් වේ. තමන්ගේ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බුද්ධිමත් ජනතාව රාජ්‍ය නිලධාරීන්ගේ මෙවැනි දූෂිත ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටීම පැසසිය යුතු වේ.