- මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පොලිසිය විසින් ඔහුව රැගෙන ගිය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විරෝධතාකරුවෝ වටලති.
- ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් , මන්ත්රීවරයාත් පැයක් නිවාස අඩස්සියේ .
අස්වැසුම ණය යෝජනා ක්‍රමයෙන් අත් හැර දැමූ ලංකාවේ දුගීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 56 ක පවුල් 2500 ක් විසින් අද (26) දහවල් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් අතරමැදට පිවිසි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය හමුවේ පොලිස් ආරක්ෂාව යටතේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන යෑමට පොලිසියට සිදු විය .
හූ කියමින් කෑ ගසමින් සිටි විරෝධතාකරුවන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා සහ පොලිසිය පසුබැස ගිය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකර ප්‍රාදේශීය ලේකම්වරයා සහ කාර්ය මණ්ඩලයත් මන්ත්රීවරයාත් පැයකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ තැබූහ.
අවසානයේ දී ජුලි 10 වැනිදා වනවිට සියලුම ප්‍රශ්න නිරාකරණය කර දෙන බවට මන්ත්රීවරයාත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාත් නැවත නැවත පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් ඉවත් වී ගියහ.
අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 56ක සිංහල , දමිල , ආදිවාසි සාමාජිකයන් සහිත පවුල් දෙදහස් පන්සියයකට ආසන්න පිරිසක් පොළොන්නරුව , මඩකලපුව සහ පොළොන්නරුව , මහියංගන ප්‍රධාන මාර්ග දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් හා මන්ම්පිටිය පොලිසිය අසලින් අවහිර කරමින් අද (26) දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
සමෘද්ධි සහනාධාරය ඉවත් කරමින් තම පවුල්වලට රජය බලවත් අසාධාරණයක් සිදුකර ඇති බවත් , අවැසුම සහනාධාරය ප්‍රදේශයේ පෝසත් , ධනවත් , අරක්කු ව්‍යාපාරිකයන්ට , ටිපර් රථ හිමිකරුවන්ට , මෙන්ම විවිධ ව්‍යාපාරිකයන්ට පවා ලබාදී ඇති බවත් , ඒවා වහා අහෝසි කර තමන් අස්වැසුම් වැඩසටහනට ඇතුළත් කර ගන්නා ලෙසත් බලකරමින් විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ගයේ බිම වාඩි වී පැය 5 කට වැඩි කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාවය අසලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම වැලිකන්ද ප්‍රදේශයට යන අතරතුර වාහනයෙන් බැස විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළද එහිදී මන්ත්‍රීවරයාට විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය පළ විය . විරෝධතාකරුවන් අවසානයේ දී මන්ත්‍රීවරයාට හූ කීහ.
මෙහිදී විරෝධතාකරුවෝ නොසන්සුන්කාරී ලෙස හැසිරුණහ. ජගත් සමරවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව උදෙසා මනම්පිටිය පොලිසිය මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන යාමට කටයුතු කළහ.
එහිදී මන්ත්‍රීවරයාගේ සහ පොලිසිය පිටුපස විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණු අතර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු කාර්යාලයේ නිලධාරීන් පැයක පමණ කාලයක් විරෝධතාකරුවන්ගේ අඩස්සියට ලක් වූහ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්.ඉර්ෆාන් අතර සිදු වූ සාකච්ඡාවකින් පසු විරෝධතාකරුවන්ගේ තොරතුරු සහ අභියාචනා භාරගෙන ඔවුන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා පොරොන්දු වීමත් සමඟ තත්ත්වය පාලනය විය .
ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර්යාලයෙන් පිටතට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විරෝධතාකරුවන් අමතා ඔවුන්ගේ ගැටලු 26 වෙනිදා රාත්‍රී දක්වා තොරතුරු ගෙන විසඳීමට කටයුතු කරන බවත් , අස්වැසුමෙන් විරෝධතාකරුවන්ට අසාධාරණයක් සිදු වී ඇත්නම් ලබන 10 දක්වා අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් , ඉන් අනතුරුව සියලු අසාධාරණයට ලක්වූ අයට අවශ්‍ය සහන ලබාදීමට තමා කටයුතු කරන බවත් ජගත් සමරවික්‍රම පොරොන්දු වූයේය.
ඒ සමග විරෝධතාකරුවන් විසිර ගියහ.
( ලංකා සර )