කුලුඳුල් දරු ප්‍රසූතියෙන් පසු මව මියයෑම ගැන වැලිමඩ රෝහලට චෝදනාවක්.

කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා වැලිමඩ රෝහල වෙත ඇතුළත් කළ 22 හැවිරිදි මවක රෝහලේ පැවැති වසර අවසාන සාදයකට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශවාසීහු චෝදනා කළ බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා රිෆ්ෂා නමැති 22 හැවිරිදි මවකි. 

පසුගිය 29 වැනිදා වැලිමඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙන ඇය 30 වැනිදා දරු ප්‍රසූතිය උදෙසා සූතිකාගාරය වෙත රැගෙන ගොස් තිබේ. 

එහිදී සාමාන්‍ය දරු ප්‍රසූතියකට ඇය යොමු කර ඇත්තේ ගර්භාෂයේ වායු ගෙඩියක් ද තිබියදී බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඇයගේ දරු ප්‍රසූතිය සිදුවූ අවස්ථාවේදී ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් පස්දෙනකු එහි සිට ඇතැයි පැවසෙන අතර ඔවුන්ගේ සහායට වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලවල දස දෙනකු ද පැමිණ ඇතැයි සඳහන්.

ඇයගේ උදරයේ ඇති ගෙඩිය පුපුරා යාමේ අවදානමක් තිබියදී වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර කර නොමැති බවත් හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර තබා ගත යුතු නුවරඑළිය හෝ බදුල්ල ප්‍රධාන රෝහල් ද සම්බන්ධ කරගෙන නොමැති බවත් බෝගහකුඹුර ප්‍රදේශවාසීහු පවසා තිබේ.

මෙම මවගේ උදරයේ තිබූ ගෙඩිය පුපුරා අධික ලෙස රුධිරය වහනය වී ඇති අතර දරුවා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. එනමුත් මව අසාධ්‍ය තත්ත්වයෙන් සිට ඇතැයි පැවසේ. 

පසුව වැලිමඩ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත අසාධ්‍ය තත්ත්වයේ සිටි මව සහ ඇයගේ දරුවා නුවරඑළිය රෝහල වෙත මාරු කර යැවීමට උත්සාහ දරා ඇතත් එහි දැඩි සත්කාර ඒකකයේ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දරුවා පමණක් නුවරඑළිය රෝහල වෙත භාරගෙන තිබේ.

මව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු බදුල්ල රෝහලේ සියලුම ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් එහි හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණ ඇයට ප්‍රතිකාර කර තිබේ.

එහිදී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති මවට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් මෙන්ම රුධිරය ලබාදීමක් ද සිදුකර තිබේ.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 31 වැනිදා මියගොස් ඇත.

මේ අතර මවගේ ඥාතින් හා ගම්වාසින් වැලිමඩ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග ගැටුමක් ඇතිකරගෙන ඇත්තේ රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි පවසමිනි. 

එම ගැටුම අතරතුරදී රෝහලේ ගොඩනැගිලිවල වීදුරු කිහිපයකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.

බදුල්ලට රැගෙන ගිය මව මියගොස් ඇති බව කියමින් ප්‍රදේශවාසීන් අවේගශීලිව හැසිරෙන අතරතුරදී වසර අවසාන සාදයට සහභාගී වී සිටි රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද බීමතින් ගැටුමකට අවතීර්ණ වී ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් රෝහල් පාර්ශ්වයෙන් හෝ අගතියට පත් පාර්ශ්වයෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවට වැලිමඩ පොලිසිය සඳහන් කර තිබේ.

මේ පිළිබඳව වැලිමඩ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමේ බලයක් තමාට නොමැති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් මෙම සතියේදී වැලිමඩ රෝහලට හා බදුල්ල පළාත් මහ රෝහලට පැමිණීමට නියමිත බව සදහන්. 

Exit mobile version