ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට හෝ ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නොමැති බවත් , දැනට වී තොග පවතින්නේ පෞද්ගලික අංශයේ බවත් ය.
එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ පෞද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
තවද මේ වනවිට අක්කර 50,000 ක පමණ වගා හානියක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි බවත් , අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අධ්‍යයන මඟින් සනාථ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කරන ලදී.
අමාත්‍යවරයා තව දුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවන බවයි .